නුගගොල්ල මහා විද්‍යාලයේ ඉතිහාසය
නුගගොල්ල ගම බිහිවුණේ උඩගලදෙබොක්ක නම් වූ ගමේ සිට හේන් කෙටීම සඳහා පැමිණි
පිරිසකගෙනි. හීං ගඟ ආශ්‍රිතව ජල පහසුකම් ද තිබූ හෙයින් ඔවුහු තම අඹු දරුවන් ද රැගෙන වර්ෂ
1957 දී පමණ මෙම ප්‍රදේශයට පැමිණ ස්ථීර පදිංචිය සඳහා මෙම ප්‍රදේශය තෝරා ගත්හ. ගම්මානයක්
සෑදෙන විට එහි වැසියන්ට ආගමික වතාවත් ඉටුකර ගැනීම සඳහා ස්ථානයක් අවශ්‍ය වූ හෙයින් උඩගල
දෙබොක්ක ගමේ සිට භික්ෂූන් වහන්සේ නමක් වැඩමවා කුඩා පන්සලක් ඉදිකර උන්වහන්සේට එහි
වාසය කිරීමට අවස්ථාව සලස්වා දුන්හ. එසේම ගමේ වැසියන්ගේ විවිධ අවශ්‍යතා ඉටුකරගැනීම සඳහා
ග්‍රාම සංවර්ධන සමීතියක් ද ඔවුහු පිහිටුවා ගත්හ. තමන්ගේ දූදරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීමට
ස්ථානයක් අවශ්‍ය වූ හෙයින් දෙමාපියෝ පන්සලේ කුඩා බණ මඩුව ඒ සඳහා තෝරාගෙන විල්ගමුව
ප්‍රදේශයෙන් ගුරු මහතෙකු ගෙන්වාගෙන එම කාර්යය ද සාක්ෂාත් කර ගත්හ. එම ගුරු මහතාට
දීමනාවක් ගෙවූයේ ග්‍රාම සංවර්ධන සමිතියෙනි. එම ගුරු මහතා ඊ. ඇම්. සෝමදාස නම් විය. ටික
කලකින් ඒ මහතාගේ සේවය අවසන් වූ අතර ඉක්බිතිව උක්කුබණ්ඩා නම් මහතකු ද අනතුරුව
ගන්සරපොල නම් මහතකු ද වරින් වර පාසලේ ඉගෙනුම් කටයුතු සඳහා පැමිණියහ. මේ අතරතුර
දී නුගගොල්ල ග්‍රාම සංවර්ධන සමීතිය රජයේ පාසලක් ලබා දෙන ලෙස දිගින් දිගටම කරන ලද ඉල්ලීම්
සළකා බලා අඩි 40x20 ස්ථිර පාසල් ගොඩනැඟිල්ලක් රජයෙන් ඉදිකරන ලදී. එය අඩි 10x20 කාර්යාල
කාමරයකින් හා අඩි 30x20 පාසල් පන්ති කාමර ගොඩනැඟිල්ලකින් සමන්විත විය. වර්ෂ 1964 ජනවාරි
මස පළමුවන දින රජයේ පාසලක් ලෙස එය ආරම්භ වූ අතර එහි මුල්ම විදුහල්පති ගාමිණී ප්‍රේමදාස
නම් මහතා විය. පෙබරවාරි මස තුන්වන දින එම පාසලේ සේවය සඳහා තවත් ගුරුවරයෙකු පැමිණි
අතර ඔහු කේ. පී. සිරිසේන නම් විය. ආරම්භ කල රජයේ පාසලේ ළමුන් හතළිහක් පමණ අධ්‍යාපනය
ලැබූ අතර පළමුවන ශ්‍රේණියේ සිට පස්වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්විණි. 1965 ජනවාරියේ
දි ගාමිණී ප්‍රේමදාස මහතා ස්ථාන මාරුවීමක් ලබා ගිය අතර අනතුරුව එච්.එම්. ටිකිරි බණ්ඩා නම්
මහතා විදුහල්පති තනතුරට පත්ව ආවේ ය.
මේ වන විට නුගගොල්ල ප්‍රදේශය මිණිපේ තුන්වන පියවර ජනපද ව්‍යාපාරයට ඇතුළත් වූ අතර
මිණිපේ ඇළ කැපී, මාර්ග ඉදිවී විශාල වෙනසක් ප්‍රදේශය පුරා ඇතිවෙමින් තිබුණි. විවිධ ප්‍රදේශවලින්
ජනතාව ජනපදිකයන් ලෙස මෙහි පැමිණි අතර අළුත් පාසලක් ද ඉදිවිය. එය අඩි 120x20
ගොඩනැඟිල්ලක් වූ අතර පන්ති කාමර ලෙස ගොඩනැඟිල්ල දෙපසින්ල අඩි 10x20 කාමර දෙකක් ද විය.
පාසලට එච්. එම් කුමාරිහාමි හා පී.ජී. මුදියන්සේ නම් වු ගුරු මහත්ම මහත්මීන් දෙපළක් ද සේවයට
පැමිණි අතර ළමුන් සංඛ්‍යාව තුන්සියය ඉක්මවිය. ළමුන් සංඛ්‍යාව වැඩිවෙත්ම අවශ්‍යතාව අනුව තවත්
අඩි 100x20 ගොඩනැඟිල්ලක් ඉදිවිය. මේ අතර විදුහල්පතිවරුන් කිහිපදෙනෙක්ම පාසලට වරින්වර
පැමිණ ස්ථාන මාරුවීම් ලබා ගියහ. ඇතැම් විදුහල්පතිවරුන් පාසලේ සේවය කළේ ඉතා කෙටි කලක්
පමණි. ළමුන් සංඛ්‍යාව වැඩිවෙත්ම වර්ෂ 1977 දී තවත් පාසල් ගොඩනැඟිල්ලක් ඉදිවිය. ඒ එච්.එම්.
අබේසිංහ මහතා විදුහල්පතිව සිටින සමයේ දී ය. මෙකල ගුරු සංඛ්‍යාව ද 15ක් පමණ වැඩිවිය. ඒ
සමඟම පාසලේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ පන්ති ද ඇරඹිණි. 1977 දී සාදන ලද පාසල්
ගොඩනැඟිල්ලේ විශේෂත්වයක් වූයේ ප්‍රාග් වෘත්තීය විෂයය යටතේ කේ.පී. සිරිසේන මහතාගේ
මඟපෙන්වීම අනුව පාසල් ළමුන් විසින්ම කපන ලද ගඩොල්වලින් එය සම්පූර්ණයෙන් ම නිම වීමය. මේ
සමයේ ඉදිකරන ලද පාසලේ බුදු මැඳුර ද එම ළමුන් නිෂ්පාදනය කරන ලද ගඩොල්වලින් ම සෑදුණ
ඉදිකිරීමකි. අබේසිංහ මහතා ස්ථාන මාරු ලබාගිය පසු විදුහල්පති ධූරයට පත්ව ආ ඊ. එම්. පියසේන
මහතා පාසලේ සේවය කරන සමයේ දී විදුහලට අවශ්‍යව තිබූ ක්‍රීඩා පිටිය ශ්‍රමදානයෙන් සැකසිණි. මේ
කාලයේ දීම විදුහලට අවශ්‍යව තිබූ පාසල් ගීය උපගුරු කේ.පී. සිරිසේන මහතා අතින් ද පාසල් නිල
ලාංඡනය ඒ. එම්. ඩිංගිරිඅම්මා මහත්මිය අතින් ද නිර්මාණය විය. පාසලේ උසස් පෙළ පන්ති ද මේ
සමයේ දී ආරම්භ විය. මේ වනවිට විදුහලේ ළමුන් සංඛ්‍යාව දහස ඉක්මවූ අතර ගුරුවරුන් සංඛ්‍යාවද
හතළිහකට ආසන්න විය. පාසලයට අවශ්‍යව තිබූ නැටුම් ශාලාවක් ද ශ්‍රමදානයෙන් සෑදිණි. මේ අතර
වර්ෂ 1980 දී පමණ පාසලට බහුකාර්යය ඒකකයක් හා අඩි 120x20 ගොඩනැඟිල්ලක් යනාදිය ලැබිණි.
එසේම විදුහලට විද්‍යා ඒකකයක් ද ලැබුණු අතර පසු කාලයකදී එය පුස්තකාල ගොඩනැඟිල්ලක් බවට
පත්විය. ඊ. එම්. පියසේන මහතා ස්ථාන මාරුවීමක් ලබා ගිය පසු ඊ.එම්. දසනායක බණ්ඩාර, පී.ජී.
වික්‍රමසිංහ, කේ.පී. සිරිසේන, අයි.බී.පී. බණ්ඩාරණායක හා එම්.ජී. ගුණදාස යන මහත්වරු මෙම විදුහලේ
විදුහල්පති ධූරයේ සේවය කළහ.







